තිරිංග අක්‍රිය වූ පාපැදියක් දිය වලකට වැටී ගම්පොල පුස්සැල්ලාවේ 19 හැවිරිදි තරුණ‍යෙක් මරුට

Sansaraya.lk
0
gampola

 ගම්පොළ පුස්සැල්ලාව ප්‍රදේශයේදී පාපැදියක තිරිංග ක්‍රියා විරහිත වී එය ජලය පිරුණු වළකට පෙරළී යාමෙන් අවුරුදු දහනවයක තරුණයෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දොරගල කිතුල්බැද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි අනුහස් ප්‍රමුදිත නම් වූ තරුණයෙකි.


ඔහු මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෞද්ගලිකව මුහුණ දීම සඳහා සූදානමින් සිටි සිසුවෙකු බවද සඳහන් වේ.


මෙම ඛේදවාචකය සිදුවන අවස්ථාවේදී මියගිය තරුණයා සමඟ ඔහුගේ ඥාති සොහොයුරෙකු වන පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකුද පාපැදියේ ගමන් කරමින් සිට ඇත. ගිහාන් සුදේස් නම් වූ එම බාල සොහොයුරා සමඟ පාපැදියෙන් බෑවුම් සහිත මාර්ගයක පහළට ගමන් කරමින් සිටියදී එක්වරම එහි තිරිංග ක්‍රියා විරහිත වී තිබේ. අනතුරුව අධික වේගයෙන් ඇදී ගිය පාපැදිය නතර කර ගැනීම සඳහා ඔවුන් එය මාර්ගයේ පසෙක වූ කානුවට යොමු කිරීමට උත්සාහ දරා ඇති බව පරීක්ෂණ වලදී හෙළි වී ඇත. එහෙත් එම උත්සාහය ව්‍යර්ථ වී ඇති අතර, පාපැදිය කටු කම්බි සහිත කෝපි වගාවකද ගැටී අවසානයේදී මාර්ගය ආසන්නයේ තිබූ විශාල දිය වළකට වැටී තිබේ.


පොලිස් තොරතුරු වලට අනුව මෙම දිය වළ ප්‍රදේශයේ එළවළු වගාවන්ට ජලය සපයා ගැනීම වෙනුවෙන් සකස් කරන ලද්දක් වන අතර එහි ගැඹුර අඩි පහළොවක් පමණ වෙයි. වළට වැටීමෙන් පසු මෙම ඥාති සොහොයුරන් දෙදෙනා සිය ජීවිත බේරා ගැනීම සඳහා දැඩි සටනක නිරත වී ඇත. එහිදී බාල සොහොයුරා වළේ බැම්මක් අල්ලාගෙන තම අයියාවද ග්‍රහණයේ තබා ගැනීමට දැඩි උත්සාහයක් ගෙන තිබේ. කෙසේ වෙතත්, එය අතිශය අපහසු කටයුත්තක් වී ඇති බැවින් වැඩිමහල් තරුණයාගේ අත ගිලිහී ගොස් ඔහු දිය යටට ගිලී ගොස් ඇත.


පසුව දිය වළේ බැම්මේ එල්ලී සිටි බාල සොහොයුරාගේ කෑගැසීම ඇසී එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් එක්ව වහාම ඔවුන් දෙදෙනා ගොඩට ගෙන ගම්පොළ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ. එහෙත් රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාව වන විටත් දහනව හැවිරිදි තරුණයා මියගොස් සිටි බව පොලිසිය තහවුරු කළේය. සිද්ධියට අදාළව මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ගම්පොළ ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිත අතර, පුස්සැල්ලාව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

Tags

Post a Comment

0 Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Check Out
Accept !
To Top